රබීන්ද්‍රනාත් තාගෝර් සහ ශ්‍රීපාලිය

තාගෝර්තුමා අතින් ශ්‍රීපාලියට මුල්ගල තැබූ දා

1861 මැයි මස 7 වන දින එවකට කල්කටාව හෙවත් වත්මන් ඉන්දියාවේ කොල්කොටාවේ ඉඩම් හිමි ධනවත් පවුලක උපත ලැබූ රබීන්ද්‍රනාත් තාගෝර්, (රබීන්ද්‍රනාථ ඨාකූර) නව්‍ය ආකාරයේ ගද්‍ය සහ පද්‍ය ආකෘතියක් ද පැරණි සංස්කෘත භාෂාව මත පදනම් වූ සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරවූ කථන බස භාවිතාව ද බෙන්ගාලි සාහිත්‍යයට හඳුන්වාදුන් කවියෙකු, කෙටිකතා රචකයෙකු, ගීත නිර්මාපකයෙකු, නාට්‍ය රචකයෙකු, ලේඛකයෙකු හා චිත්‍ර ශිල්පියෙකු ද විය.

ඉන්දියානු සංස්කෘතිය බටහිර ලෝකයට හඳුන්වා දුන් ප්‍රබලයෙකු වූ ඔහු 20 වැනි සියවසේ මුල් භාගයේ ඉන්දියාවේ සිටි විශිෂ්ටතම නිර්මාණශීලී කලාකරුවා ලෙසින් සැලකුම් ලබයි. තාගෝරයන් විසින් 1913 වසරේදී සාහිත්‍ය වෙනුවෙන් වූ නොබෙල් ත්‍යාගය හිමිකර ගත්තේ එය දිනූ යුරෝපීයයෙකු නොවූ පළමුවැන්නා වෙමිනි.

ආගමික ප්‍රතිසංස්කරණවාදියෙකු වූ දෙබේන්ද්‍රනාත් තාගෝරයන්ගේ සහ සාරදා රාවට්ගේ පුත්‍රයෙකු වූ රබීන්ද්‍රනාත්, බාල වියේ පටන්ම පද්‍ය රචනයට යොමු වූ අතර නව වැනි වියේදී විධිමත් අධ්‍යාපනයට පිවිස 1870 ගණන්වල අග භාගයේදී එංගලන්තයේ සිය අධ්‍යාපනය නිසි ලෙස නිමා නොකොට ආපසු ඉන්දියාවට පැමිණියේය.

පවුලේ දාහහතර වැනි දරුවා ලෙස උපත ලද රබීන්ද්‍රනාත්ගේ ⁣සොයුරු ජෝතිරින්ද්‍රනාත් තාගෝර් කීර්තිමත් සංගීතඥයෙකු හා රචකයෙකු වූ අතර ස්වර්ණ කුමාරි දේවි සොයුරිය නවකතාකාරියක වූවාය.

1880 දී කාව්‍ය ග්‍රන්ථ ගණනාවක්ම ප්‍රකාශයට පත් කළ තාගෝර් 1890 දී මාන්සි කාව්‍ය එකතුව පළ කරමින් ස්වකීය පරිණතවූ කෞශල්‍යය විදහා දැක්වීය. ඔහුගේ ප්‍රකට කාව්‍ය කිහිපයක්ම එහි අන්තර්ගත වූ අතර ඒවායෙන් බොහොමයක් තුළ බෙංගාලි බසට නව්‍ය කාව්‍ය ආකෘතීන් අඩංගු වූවා සේම එතුළ සමාජ හා දේශපාලන හාස්‍යයත් සිය සහෝදර බෙංගාලිවරුන් කෙරෙහි වූ විවේචනත් ගැබ්ව පැවතින.

1891 දී වත්මන් බංගලාදේශයට අයත් නැගෙනහිර බෙංගාලයේ පිහිටි තම පවුලට උරුම ශිලයිධා වතුයාය වෙත ගොස් එහි කටයුතු වෙනුවෙන් ඔහු දස වසරක් ගත කලේය. එහිදී ගංගා නදියෙහි ප්‍රධාන ශාඛාව වූ පද්මා ගංගාවේ ගෘහයක් සහිත බෝට්ටුවක නතරවී ගැමියන් හා ගැටෙමින් නිතරම කල් ගෙවූ රබීන්ද්‍රනාත් තුළ ගැමියන් කෙරෙහි උපන් දයානුකම්පාව පිරි හැඟුම් සමුදාය පසු කාලීනව ඔහුගේ බොහොමයක් රචනා තුළ ප්‍රධාන තේමාවන් බවට පත්විය.

ඔහුගේ කෙටිකතා බොහොමයක් විමසීමේදී, තියුණු බව හා ඔහුටම අනන්‍ය වූ මෘදු උත්ප්‍රාසය මුසු වී ඇති අයුරු විද්‍යාමාන වෙයි. බෙංගාලයේ ගැමි පරිසරයටත් සියල්ලටම වඩා පද්මා ගංගාව කෙරෙහිත් පෙම්බැඳි තාගෝරයන්ගේ බොහොමයක් රචනා තුළින් නිරන්තරයෙන්ම එම දසුන් චිත්‍රණය විය. මෙම වසර කිහිපය තුළ ඔහු කාව්‍ය රචනා එකතු ගණනාවක්ම පළ කළේය. ඒ අතුරින් සෝනාර් තාරි (1894; ස්වර්ණමය යාත්‍රාව) සහ චිත්‍රාන්ගදා (1892; චිත්‍රා) නාට්‍යය විශේෂයෙන් කැපී පෙනෙයි.

තාගෝරයන්ගේ බොහොමයක් පද්‍යයන් සේම බෙංගාලි සමාජයේ සියළු තරාතිරම් අතර පවා යම් ජනප්‍රියත්වයක් හිමිකරගත්  දෙදහසකට අධික ඔහුගේ ගීතද අන්බසකට පරිවර්තනය කළ නොහැකි තරම්ය. පසුකාලීනව ඉන්දියාවේ සහ බංගලාදේශයේ ජාතික ගී බවට පත්‌වූයේ ද රබීන්ද්‍රනාත් තාගෝර් විසින් රචනා කළ ගීත දෙකකි.

වර්ෂ 1901 දී අත්හදා බැලීමක් වශයෙන් බටහිර බෙංගාලයේ ගැමි ප්‍රදේශයක පිහිට වූ ශාන්ති නිකේතනය තුළින් ඉන්දියානු හා බටහිර සම්ප්‍රදායන්හි අගනා දෑ මුසු කිරීමට හෙතෙම වෙර දැරුවේය. පසුකලෙක විශ්ව භාරතී විශ්ව විද්‍යාලය බවට පත් වූයේ නොබෙල් ත්‍යාග මුදල මුළුමනින්ම වියදම් කොට 1921 වර්ෂයේදී ඔහු ස්ථිරවම පිහිට වූ එම පාසලයි.

ම්රිනාලිනි දේවි සමග 1883 දී යුග දිවියට එළඹි රබීන්ද්‍රනාත්ට දරුවන් හයදෙනෙකි. වර්ෂ 1902 ත් 1907 ත් අතර අභාවයට පත් සිය භාර්යාව හා දරුදෙදෙනා නිසා වසර ගණනක් පුරා හදවතේ නැගී ආ ශෝකය ඔහුගේ පසුකාලීන රචනාවක් වූ 1912 වසරේදී අපරදිගට හඳුන්වා දුන් ගීතාංජලී කාව්‍ය තුළින් පිළිබිඹු විණි. 1910 වසරේ බෙංගාලි බසින් පළ කළ ගීතාංජලිය ඇතුළු සිය බොහොමයක් ආගමික ගීත එකතූන් වෙතින් උකහාගත් තාගෝරයන්ගේම රචනා වල ඉංග්‍රීසි පරිවර්තන මෙම පොතෙහි අන්තර්ගත වන අතර ඒ උදෙසා W.B. Yeats හා André Gide ‌වෙතින් පැසසුම් ලැබූ හෙතෙම 1913 වසරේ ඔක්තෝබරයේ දී නැවත ඉන්දියාවට පැමිණ මසකට පමණ පසු සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනා ගත්තේය.

1912 වසරේ සිට දීර්ඝ කාලයක් ඉන්දියාවෙන් පිටත ගත කළ තාගෝර්තුමා දේශන පවත්වමින් යුරෝපයේ, ඇමරිකාවේ හා නැගෙනහිර ආසියාවේ සංචාරය කරමින් ඉන්දියානු නිදහස් අරගලය උදෙසා ද සිය දායකත්වය සැපයීය.

1915 දී තාගෝර් නයිට් පදවියකින් පිදුම් ලද මුත් පසුව ඉංග්‍රීසීන් විසින් අම්රිත්සාර්හි සිදුකළ සංහාරයට එරෙහිව ඔහු එය ප්‍රතික්ෂේප කලේය. එම වසරේදී ශාන්ති නිකේතනයට පැමිණි ගාන්ධිතුමාව හඳුන්වමින් “ඔහු ඇත්තටම මහා ආත්මයක් ඇති තැනැත්තෙක්; මහාත්මා කෙනෙක්” යැයි තාගෝරයන් කළ ප්‍රකාශයට අනුව එවක් පටන් ගාන්ධිතුමා මහත්මා ගාන්ධි නමින් ප්‍රකට විය.

“ගෝරා” සහ “නිවහන හා ලෝකය” ලෙසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ ගෝරා (1910) හා ඝාරේ බයිරී (1916) යන කෘතීන් ඇතුලු තාගෝරයන් බෙන්ගාලි බසින් රචනා කළ නවකතා ඔහුගේ කාව්‍ය හා කෙටිකතා තරම් ම ප්‍රකට වී නැත.

1920 ගණන්වල අගදී තමා හැට වියැතිව සිටියදී චිත්‍ර කලාවට පිවිසි රබීන්ද්‍රනාත් තාගෝර් සිතුවම්කරණය තුළින්ද සමකාලීන ඉන්දියාවේ ප්‍රමුඛතම කලාකරුවන් අතර තැනක් හිමිකර ගැනීමට  සමත් වූයේය.

සුවිශේෂ ආරාධනයකට අනුව සිය අවසන් විදේශ සංචාරය ලෙස 1934 දී ශ්‍රී ලංකාවට පැමිණි එතුමා ශාන්ති නිකේතනයේ ආකෘතිය අනුගමණය කළ ලාංකීය විද්‍යාස්ථානයක් අරඹනු උදෙසා මුල්ගල තැබුවේය. දේශපාලනඥයෙකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ද වූ විල්මට් ඒ පෙරේරා මැතිතුමා ඒ අනගි විදුබිම දැයට දායාද කරනු උදෙසා සිය දේපළ පරිත්‍යාග කළ මහා දානපතියා ය.

ඒ රයිගම් පුරවරයේ කීර්තිමත් ශිල්පායතනයක් වන වත්මන් ශ්‍රීපාලියටයි. ශ්‍රීපාලිය හා මහා කවි තාගෝරයන් අතර මෙන්ම ශ්‍රීපාලිය හා ඉන්දියානු රජය අතර නව සංස්කෘතික ඥාතීත්වයක ඇරඹුම 1934 මැයි මස 20 දා ගුරුදේවයන් අතින් වත්මන් රවීන්ද්‍ර ශාලාවට මුල් ගල් තැබුමෙන් ඇරඹින. වර්තමානයේ එය ශ්‍රීපාලියේ අනන්‍ය සංකේතයක් බඳු රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ පුස්තකාලයයි.

දහස් ගණනක් දූ පුතුන්ට විද්‍යා ශිල්ප ඥානයත්, අමිල වූ සාරධර්ම පෝෂණයත්, සෞන්දර්ය කලා රසයත් ‌බෙදා දෙන ශ්‍රීපාලිය සේම තාගෝර්තුමාගේ ආගමනය අනුස්මරණය කරමින් එතුමා විසින්ම රෝපිත සියඹලා වෘක්ෂයද රවීන්ද්‍ර ශාලාව අසල අතුපතර විදා අදටත් ජීවමානව වැජඹෙයි.